‘මේ වෙද්දී කවුරුත් බඩගින්නේ නෑ’- ඇමති බිමල් රත්නායක කියයි

ආපදා තත්ත්වයක් රට තුළ ඇතත් දැනට කුසගින්නේ කිසිවෙකු නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

December 5, 2025  pahana news

ඒ, පෙරේදා (දෙසැ. 3) පාර්ලිමේන්තුවේදී ය.

ඔහු මෙසේ පැවසුවේ, රටේ පොලිසිය, විශේෂ බළකාය, ත්‍රිවිධ හමුදාව මෙන් ම ප්‍රාදේශීය ලේකම්වරු, ස්වේච්ඡා සංවිධාන, ජනතාව ඉතා යුහුසුලුව අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන බව ත් ඔවුන්ට තමා ගෞරවනීය ස්තුතිය පුද කරන බව ත් පෙන්වා දෙමිනි.

කෙසේ නමුත් ඇතැම් මාර්ග පිළිසකර කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන් ම, මෙම ආපදා තත්ත්වයත් සමග සතුරන් අඩු වී මව්බිමේ සියලු දෙනා එකතු වී ඇති අතර මහජනතාවත් ආණ්ඩුවත් ඒ අනුව එක් වී ඇති බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

“මම විපක්ෂයට කියනවා මූණ දිහා බලලා කතා කරන්න ඉඩ තියාගන්න කියලා. අපි බලාපොරොත්තු නොවන ආකාරයට හෘද සාක්ෂියට දරාගන්න නොහැකි ආකාරයට ඉතාමත් ම නපුරු ප්‍රවේශයක් මේ අපි දකින්නේ. පක්ෂයක් ලෙස මෙම ස්වාභාවික අනතුරුවලදී හෝල් හාර්ටඩ් ලෙස වැඩ කරලා තිබෙනවා. ඒ වගේ ම අපි ඇති තරම් මිනී ඇදලා තියෙනවා 2004දී. ඒ වගේ ම මම කණගාටු වෙනවා නුවර සිද්ධිය ගැන. පොඩ්ඩක්වත් හෘද සාක්ෂියක් නැද්ද? අපේ රට භාර ගන්න කොට මීට වඩා දරුණු ආර්ථික අර්බුදයක් තිබුණේ. අපි කිසිම ආකාරයක වැරදි පාරක නොගිය නිසයි අද ආර්ථික හා දේශපාලන ස්ථාවරයකට රට පත් කරගන්න හැකි වුණේ. අපි ආව මොහොතේ සිට ප්‍රාර්ථනා කළේ මේක අද වැටෙයි හෙට වැටෙයි කියලා. මේ අවුරුද්ද අපි හරියට කරලා තියෙනවා. බාහිර සාධකවලින් අපි වැටෙයි කියලා හිතනවා. අපිට මේ හැම වෙලාවෙම සිතිජය පේනවා. ඒ වගේම විපක්ෂයේත් ඉන්නවා හොඳට වැඩ කරන හොඳ අවංක අය. ඔය බොරු කුමාරවරු වගේ නෙවෙයි.”