කෙහෙළියට එරෙහි දූෂණ චෝදනාවක‍ට අදාළ නඩුවක් දෙසැම්බර් 09 කැඳවන ලෙස නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් 09 වැනිදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය අද (11) නියම කරනු ලැබුවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඞ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය මුදල් කළමනාකරුවකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකළ බවයි සඳහන් වන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ, ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයේ බිල්පත් ගාස්තුව වන රුපියල් 240,000 ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ මෙම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.