දේශපාලන බලයෙන් ගොඩනැඟුණු කුඩු – පාතාලය සදහටම ඉවර කරනවා – ජනපති අනුර කියයි

November 21, 2025 

pahana news

සන්නද්ධ අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාලය හා බැඳුණු අපරාධකරුවන් මේ දක්වා ප්‍රබල තැනකට වර්ධනය වුණේ දේශපාලන ආශීර්වාදය හා රැකවරණය මත බැවින් කිසිදු අපරාධකාරයෙකුටත් මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ කිසි කෙනෙකුට වර්තමාන පාලනය තුළ දේශපාලන රැකවරණය නොලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

පාතාල නායකයින් කාලයකදී දේශපාලන පක්ෂවල කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජනය කළ බවද ඇතැම් පාතාල නායකයින් ජනාධිපති ආරක්ෂක අංශ නියෝජනය කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයක් ලෙස මෙරට මත්ද්‍රව්‍ය ව්‍යසනය මුළුමනින්ම උපුටා දමන බවද කී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මත්ද්‍රව්‍යයෙන් තොර පවුලක්, ගමක්, නගරයක්, රටක් නිර්මාණය කළ යුතු බවද පැවසීය.

ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව මත්ද්‍රව්‍ය නැති කිරීමේ මෙහෙයුම දියත් කරන බවත් එම මෙහෙයුමෙන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් ජාතිය ගලවා ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ, තංගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති ‘රටම එකට’ ජාතික මෙහෙයුම වැඩසටහනට සහභාගි වෙමිනි.

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ඊයේ (20) පස්වරුවේ පැවැත්විණ.

‘රටම එකට’ මෙම ජාතික වැඩසටහන පසුගිය මාසයේ 30 දින කොළඹ, සුගතදාස ක්‍රීඩාංගණයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙහිදී ජනාධිපතිවරයා අතින් දකුණු පළාතේ මත්ද්‍රව්‍ය පිටුදැකීම සඳහා නීතිය ක්‍රියාවේ යොදමින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ පොලිස් හා නාවික හමුදා නිලධාරීන් ඇඟයීමට ලක්කරන ලදි.

මෙරට තරුණ ප්‍රජාවේ ජීවිත අවදානමට ලක්කරන විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම අරමුණු කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කළ පසු මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 22642ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එයින් 601ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙන බවත්, ජාවාරම්කරුවන් ලෙස 605ක්ද, ඊට අනුබල දෙන්නන් ලෙස 1043කුත් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාවේ යොදවමින් තිබෙන බව ද මෙහි දී අනාවරණය විය.