අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමෙන් අසාධාරණයට ලක් වූ 06 ශ්‍රේණියේ සිසුන්ට ඉක්මණින් සාධාරණය ඉටු කරනවා – අගමැති හරිනි
pahana newa
හලාවත අධ්‍යාපන කලාපයේ නිලධාරීන් හමුවෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, උසස් ගුණාංගවලින් හෙබි පුරවැසියන් බිහි කිරීම ඉලක්ක කරගත් වත්මන් අධ්‍යාපන ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.
රජය බලයට පත්වන අවස්ථාවේදී ම ප්‍රමුඛතම වෙනසක් අවශ්‍ය ක්ෂේත්‍රය ලෙස අධ්‍යාපනය හඳුනාගෙන තිබූ බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
සමාජීය පෙරළියක් ඇති කිරීමේදී යම් පිරිසකගෙන් විවේචන එල්ල විය හැකි වුවත්, දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කෙරෙන නිසි ප්‍රමිතියක් යටතේ නව අධ්‍යාපන සැලසුම් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනු ලබයි.
අධ්‍යාපන පද්ධතියේ පවතින අඩුපාඩු නිවැරදි කරන අතරතුර, සිසුන්ට තාක්ෂණය හඳුන්වා දීමේදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ නීතිමය රාමුවක් තුළ එය සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.
වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් මෙවර ඉතිහාසයේ ඉහළම ප්‍රතිපාදන වෙන් කර ඇත. එමෙන්ම පාසල් පද්ධතිය තුළ පවතින ඩිජිටල් තාක්ෂණික විෂමතා සහ භෞතික සම්පත් ඌනතාවන් මඟහරවා ගැනීමේ ව්‍යාපෘති මේ වන විටත් ආරම්භ කර තිබේ.
6 ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු තාවකාලිකව නැවතීම හේතුවෙන් අපහසුතාවට පත් වූ දරුවන්ට කඩිනමින් සාධාරණය ඉටු කරන බවට ඇය සහතික වූවාය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කෙරෙන මෙම සුවිශේෂී සංක්‍රාන්ති සමය සාර්ථක කර ගැනීමට මහජනතාවගේ සහයෝගය සහ පිළිගැනීම අතිශය තීරණාත්මක බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
